Archive for November, 2012

ක්‍රීඩාව කිතුණු ඇසකින්

ක්‍රීඩාව යනු බාල මහලු අප සියලු දෙනාම පාහේ කුමන අන්දමකින් හෝ සහභාගීකම් දක්වමින්, අත්දකින, අත්විඳින දෙයකි. ගෙදර දොර අප කරන ව්‍යායාමයේ පටන්, තරඟකාරීභාවය උපරිම වූ ඔලිම්පික් උළෙලක්, ලෝක කුසලානයක් දක්වා වූ පුළුල් පරාසයක් පුරා විහිදි ක්‍රීඩාව කෙරෙහි අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් පෙ‍රැත්තක් දක්වමු. ක්‍රීඩාව තුල දක්නට ලැබෙන ජය පරාජය, දුක සතුට, අවේගය, ධෛර්යවන්තබව, නොපසුබට උත්සාහය, ඊර්ෂ්‍යාව, තරඟකාරීත්වය, නීති සමුදායකට කො‍ටුවී ක්‍රියා කිරීම, උපායශීලීත්වය, නව්‍යකරණය වැනි දෑ අපගේ ජීවිතවලට ඉතා සමීප වූ දෑය. එහෙත් අප මොහොතකට හෝ ක්‍රීඩාව කිතුණු ඇසකින් නිරීක්ෂණය කොට තිබෙනවාද? වෙනත් ආකාරයකට කිවහොත් විස්සයි විස්ස ලෝක කුසලානය, උසේන් බෝල්ට්ගේ රන් පදක්කම් ත්‍රිත්වය, ලාන්ස් ආම්ස්ට්‍රොන්ග්ගේ ක්‍රීඩා ජීවිතයේ කඩා වැටීම ආදී ක්‍රීඩාත්මක වටිනාමක් ඇති සිද්ධීන් සහ දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවක් ඇත්දැයි සොයා බැලීමට අප උත්සුක වී තිබෙනවාද?
කොලොස්සි 1:16 සඳහන් ආකාරයට “…ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන් වහන්සේ තුල මවන ලද්දේය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ.” ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ඇති සියලු දේ කෙරෙහි අධිපතිකම් දක්වන්නේනම්, ක්‍රීඩාව ද උන් වහන්සේගේ ආධිපත්‍යය යටතට වැටේ. එහෙත් උන් වහන්සේ මෙලොවට ක්‍රීඩාව ගෙන ඒමේ අරමුණ කුමක්ද? මැවීමේ කතාව තුල මෙම පැනයට ඉඟියක් ලැබේ. උන් වහන්සේගේ මැවීම තුල මිනිසාගේ සතුට, වින්දනය, රසාස්වාදය වැනි අංග වලට ඉඩක් ලැබිණි. ඒ අනුව ක්‍රීඩාවද එවැන්නක් යැයි සැලකීමේ වරදක් නැත. නමුත් මිනිසාගේ වැටීම තුලින් අන් සියලු අංශ මෙන්ම, ක්‍රීඩාව තුල ද මිනිසා දේව කැමැත්තට පි‍ටුපා ඇත. මෙම වැටීම හේතුවෙන් ක්‍රීඩාවට එල්ල වී ඇති බලපෑම කුමක්ද?
මෙය හොඳින් තේරුම් ගැනීම සඳහා අපි උපකල්පිත සංකල්පයක් ගොඩනඟා ගනිමු; එනම් මිනිසාගේ වැටීම සිදු නොවුනේනම් ක්‍රීඩාව කෙබඳු ස්වරූපයක් ගනීද?මිනිසා, ක්‍රීඩාව තුල පිළිගත් නීතිරීති, සම්මතයන් වලට ගරු කරමින්, හිතකර මට්ටමක වූ තරඟකාරීත්වයක් තුල, ජය ලබාගැනීමේ අරමුණින් ක්‍රීඩාවේ නියැලෙනු ඇත. එවිට ක්‍රීඩාවේ නියැලීම තුලින් ලැබෙන්නාවූ තෘප්තිය උපරිමයටම භුක්ති විඳිමින්, ජය පරාජය සහ ඒ සමඟම ලැබෙන්නාවූ දුක සතුට එක සේ විඳ දරා ගනු ඇත. එවිට ඒ සියල්ලක් තුලින් ක්‍රීඩාවේ සැබෑ නිර්මාතෘ වූ දෙවියන් වහන්සේට නිසි ගෞරවය ලබා දෙනු ඇත. නමුත් මිනිසාගේ වැටීම තුල මේ සියල්ලක්ම උඩු යටිකුරු වූ බවක් දක්නට ලැබේ.
අද ක්‍රීඩාව හුදෙක් වින්දනය උදෙසා යෙදෙන්නක් නොව කීර්තිය, මුදල, බලය ලබාගැනීමේ උපාය මාර්ගයක් වී ඇත. මේ හේතුවෙන් මිනිසා, ක්‍රීඩාවේ නීති රීති, සම්මතයන් තුට්‍ටුවකට ගණන් නොගන්නාවූ අවාසනාවන්ත තත්වය උදා වී ඇත. 1986 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ, අවසන් පූර්ව වටයේ තරඟයකදී තමා දැනුවත්වම තම අත භාවිතා කරමින් ගෝලයක් වාර්තා කල ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා, මිනිසා නීති රීති වලට පිටින් යමින් හෝ ජයග්‍රහණය ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ කදිම උදාහරණයක් ගෙන හර පායි. එලෙසම මුදලට තරඟ පාවා දුන් බව පිළිගැනීම හේතුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් වූ හන්සි ක්‍රොන්යේ හට ජීවිතාන්තය තෙක් තරඟ තහනමක් අත් වූ අතර මහත්මා ක්‍රීඩාවට ගිය අවාසානවන්ත කල මේ සිද්ධියෙන් පැහැදිලි වේ. තම දක්ෂතා වැඩි කර ගැනීමේ අරමුණින් තහනම් උත්තේජක භාවිතය නිසා තමා දිනූ ජයග්‍රහණ යලි පූජා කිරීමට අමෙරිකාවේ හිටපු ධාවන ශූරී මේරියන් ජෝන්ස් හට සිදු වූ අතර, ස්වොත්සාහයෙන් ජය ලැබීමේ ඇති වටිනාකමට මෙය බලවත් පහරක් විය. එමෙන්ම ඇතැම් අප්‍රසන්න අංග ක්‍රීඩාවේ පැලපදියම් වී ඇත.(උදාහරණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට ලැබෙන “SLEDGING” හැඳින්විය හැකිය.) මේ සියල්ලක් තුලින්ම ක්‍රීඩාව තුලින් ලබා ගත හැකිව තිබූ සැබෑ වින්දනය ක්‍රීඩකයන් මෙන්ම, ක්‍රීඩාව නරඹන ප්‍රේක්ෂකයන්ද ලබනවාද යන්න සැක සහිතය. මන්ද ක්‍රීඩකයින් දූෂිත වූ ක්‍රීඩා රාමුවක තරඟ කරන අතර, මෙය නොදත් ප්‍රේක්ෂකයෝ, තම කාලය කැප කරමින් කට ඇරගෙන මේ දෙස බලා සිටිති.
එමෙන්ම අද බොහෝ ක්‍රීඩකයින් හට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක් උද්ගත වී ඇති බව පෙනේ. විශේෂයෙන්ම සාර්ථකත්වයත් සමඟම ලැබෙන්නාවූ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඔවුන්ට නැතුවම බැරි දෙයක් වී ඇත. කොටින්ම කිවහොත් ඔවුන් “ක්‍රීඩා තරු” බවට පත්ව ඇත. මෙහි කිසිඳු වරදක් මා දකින්නේ නැත. ඒ මන්ද එය ඔවුන් තම දක්ෂතා වලින් ලබාගත් දෙයක් හේතුවෙනි. එහෙත් ගැටලුව පැන නගින්නේ ඔවුන් එය ඕනෑවට වඩා ඔළුවට ගත් විටය. එවිට තමා හට එම දක්ෂතාවය ලබාදුන් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ලබා දීමට ඔවුන් මැලි වෙයි. එමෙන්ම එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල ලැබෙන සැබෑ අනන්‍යතාවය හඳුනා නොගැනීම නිසා, ක්‍රීඩාවෙන් සමුගත් විට හෝ ක්‍රීඩාව තුල අසාර්ථක වූ විට ගිලිහෙන ප්‍රේක්ෂක පිළිගැනීමට මුහුණ දීමට ඔවුන්ට අපහසු වේ. අද ඇතැම් ක්‍රීඩකයින්(සහ හිටපු ක්‍රීඩකයින්) තුල මෙම අවාසනාවන්ත තත්වය දක්නට ලැබේ.
ඒ අනුව අද ක්‍රීඩාව දේව කැමැත්තෙන් වඩ වඩා ඉවතටම යන බව පැහැදිලිය. ක්‍රීඩාව තුල මිනිසා තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන්, ඒ තුල දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දැකීමට මිනිසා අපොහොසත් වී ඇත.මේ හේතුවෙන් මිනිසා හට තම සැබෑ තත්වය, එනම් තමා සීමාසහිත බවත්, දෙවියන් වහන්සේ සීමාරහිත බවත් අමතක වී ඇති බව පෙනේ. එහෙත් ආරම්භයේදී කිවූ අකාරයට ක්‍රිස්තුස් වහන්සේ හට සියලු දේ යටත් බව වටහා ගැනීම වැදගත්ය. ඒ වටහා ගැනීම තුලින්, පාවුල්තුමා පිලිප්පි 3:12,13 සහ 2 තිමෝති 4:6-8 හි කියන පරිදි,ක්‍රීඩකයෙකු හොඳින් පුහුණු වී, නොපසුබට වීර්යයෙන් ජය ටැඹ කරා දිව යන්නේ යම් සේද, කිතුණු අපත් අවසානය තෙක්ම අපගේ මැවුම්කරුවාණන් සහ ගැලවුම්කරුවානන් වන ක්‍රිස්තුස් වහන්සේ දෙසම නෙත් යොමාගෙන මෙලොව ජීවිත ගමන නිම කල යුතුය.

November 1st, 2012